රන්මිණිතැන්නේ රුපියල් කෝටි 170 ක් දිරාපත් වන සැටි
Friday, June 29, 2012
පසුගිය සති අන්තයේ කතරගම වන්දනා චාරිකාවක යෙදෙන්නට එක්වන ලෙස ඉල්ලා සිටිමින් මාගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ආරාධනාවක් ලැබිණ.
මම එය ඉතා සතුටින් භාර ගත්තෙමි. මන්ද අවුරුදු ගණනාවක් තිස්සේ විදේශගත වී සිටි මට කතරගම වන්දනාවේ යෙදෙන්නට අහඹු අවස්ථාවක් උදාවූ බැවිණි. කතරගම වන්දනාවෙන් ඉක්බිති තිස්සමහාරාමය ප්‍රදේශයේ ඉදිකර තිබෙන 'රන්මිණිතැන්න' මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය ද නරඹන්නට මා තුළ තිබුණ තදබල ආශාව මගේ මිතුරන්ට හෙළි කළෙමි.
මරුනේ... අපිත් කවදාවත් ඕක බලන්න ගිහින් නැහැ.. යැයි වන්දනාවේ නඩේ ගුරා සතුටින් ඉපිලෙමින් පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ රූපවාහිනිය විනෝද රසාස්වාදය උපදවන ප්‍රධාන පෙළේ කර්මාන්තයක් බවට අද පත්වී තිබේ. මේ වන විට රූපවාහිනි නාලිකා රැසක් සක්‍රිය ලෙස පවතින අතර අනාගතයේදී තවත් රූපවාහිනී නාලිකා බිහිවන්නට බොහෝදුරට ඉඩ තිබේ.
රූපවාහිනී නාලිකා වැඩිවීම සමග අතිවිශාල පිරිසක් ටෙලි නාට්‍ය කර්මාන්තය වටාද රොක් වන්නට පටන් ගෙන ඇත. තේ ගෙනෙන ටී බොයිගේ පටන් නළු නිළියන් දක්වා වූ මෙම පරාසය තුළ අද වෘත්තීය වශයෙන් ජීවත් වන පිරිස් සුළුපටු නොවේ.
මේ අන්දමට දවසින් දවස රූපවාහිනි විනෝද රසාස්වාදය ජනතාව අතරට වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් එම කර්මාන්තයේ නියැළෙන නළු නිළියන්, අධ්‍යක්ෂ-වරුන් ඇතුළු තවත් ශිල්පීන්ගේ තොරතුරු ඇතුළත් කොට සති අන්ත ටැබ්ලොයිට් පුවත්පත් පවා නිකුත් වෙමින් තිබේ.
මෙබඳු කර්මාන්තයක් ජනතාව අතරේ ව්‍යාප්ත වී යද්දී මීට ආවේණික වූ විවිධ ප්‍රශ්න, ගැටලු මතුවීම ස්වභාවිකය. එම ගැටලු විසඳා ගනු පිණිස කර්මාන්තය තුළින්ම පුද්ගලයන් සහ සංවිධාන, බිහිවීම දැකිය හැකි සුලබ දසුනකි.
රූපවාහිනී කර්මාන්තය හරහා පැන නැගී ඇතැයි කියන සමහර අර්බුද විසඳා ගනු පිණිස පසුගිය කාලයේ මෙබඳු සංවිධාන රැසක් බිහි විය. ඒ බොහෝමයක් බිහිවූයේ රූපවාහිනී සහ සිනමා කර්මාන්තයට සෘජුව සම්බන්ධ වී සිටින කලාකරුවන්ගේ සභාගිත්වයෙනි.
මේ රටේ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ දායකත්වයට දිරිය ලබාදීම, මෙම ක්‍ෂේත්‍රවල යම් යම් අංශවල පසුබෑමක් තිබේ නම් එය වැළැක්වීම, ආදායම් ලබන කර්මාන්ත බවට මෙම ක්‍ෂේත්‍ර පත්කිරීම වැනි අරමුණු සාර්ථක කරගැනීම සඳහා රන්-මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන ඉදිවූ බව මා ඇසුවේ, දුටුවේ විදේශයේදී අන්තර්ජාලය හරහාය.
ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ රටේ සිනමාවට සහ රූපවාහිනියට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් ඉහත සඳහන් අවශ්‍යතා පළමුව ඉදිරිපත් කරන්නට ඇතැයි මට හැඟේ.
මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ඉතා හොඳ කලාකාමියෙකි. රස-වතෙකි එදා සිටම රටේ නමගිය, නොගිය ඕනෑම කලාකරුවකුගේ, ජනමාධ්‍යවේදියකුගේ මිත්‍රත්වය දිනා සිටින ආකාරය අදටත් දැකිය හැකිය.
ඔවුන්ගේ ඉල්ලීමක් නොසලකා හරින්නට ජනාධිපතිවරයාට නොහැ-කිය. ඒ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගී පවතින කිට්ටු ඇසුර හා විශ්වාසය හේතුවෙනි.
'රන්මිණිතැන්න' වැනි ටෙලි සිනමා ගම්මානයක් ආරම්භ කිරීමේ තවත් වැදගත්කම් රාශියක් තිබෙන බව මීට මූලික වූ පිරිසට පෙනී යන්නට ඇතැයි මට හැඟේ. මෙවැනි ගම්මානයක් ඉදිකිරීමෙන් චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණවල බොහෝ් දර්ශන එකම පරිසරයක් තුළ රූපගත කළ හැකි වීම එක් වාසියකි. එහිදී රන්මිණිතැන්න දර්ශන තල අලෙවි කොට ආදායම් ඉපයිය හැක. එබැවින් නඩත්තුවට අමතර මුදල් අවශ්‍ය නැත. රූපවාහිනී සිනමා නිර්මාණකරු-වන්ට තැනින් තැන ගමනාගමනය සහ ප්‍රවාහනය සඳහා වැය වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වෙයි.
නළු නිළි කණ්ඩායම ඇතුළු කැමරා ආම්පන්න, කාර්මික ශිල්පීන් සියලු දෙනා එක තැනකට කොටුකර දීමෙන් මුළු නිර්මාණය සඳහා වැය වන කාලය කෙටි කර ගන්නට පිළිවන. එයින් ද සෑහෙන මුදලක් ඉතිරි කරගත හැකිය. අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ නළු නිළි කණ්ඩායම එකම ස්ථානයක ලැඟුම් ගැනීම හේතුවෙන් අමතර ප්‍රවාහන වියදමක් ද නැත. ඒ වගේම රූපගත කිරීම් අලුයම පටන් ගෙන රෑ මැදියම දක්වා වුවත් සිදුකර ගෙන යා හැකිය. මන්ද මෙවැනි දර්ශන තලයකින් පැන ගොස් වෙනත් රඟපෑමක යෙදෙන්නට කිසිම නළුවකුට හෝ නිළියකට පහසු නොවන බැවින්ය.
ඉහත දැක්වූ අතිශය වැදගත් කරුණුවලට අමතරව තව තවත් කාරණා ජනාධිපතිවරයා හමුවෙහි මීට මුල් වූ පිරිස් පවසා සිටින්නට ඇත. තිස්සමහාරාමයේ සිට කතරගම බලා දිවෙන මාර්ගයේ එක් ස්ථානයක දී ගම තුළට හැරී ගිය මාර්ගයක් අවසානයේ 'රන්මිණි-තැන්න' සිනමා ටෙලි ගම්මානය ඉදිකිරීම ආරම්භ වූයේ එලෙසිනි.
මේ සඳහා වැය වන මුදල අති විශාලය. පළමු වටය සඳහා රුපියල් කෝටි 150කි. දෙවැනි වටයට රුපියල් කෝටි 20 කි. මෙම මුදල සොයා ගන්නට ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරය වෙත ජනාධිපතිවරයා විසින් කලාකරුවන් පිටත් කළේ නැත. ඒ හිඟාකෑමට කලාකරුවන් තල්ලු නොකළ මහින්ද රාජපක්ෂ මහතා ඊට අපූරු විසඳුමක් ලබා දුන්නේය.
ඒ වන විට මේ රටේ පුද්ගලික රූපවාහිනී නාලිකාවල සිංහල දෙබස් කවන ලද විදේශීය මෙගා ටෙලි නාට්‍ය නොකඩවා විකාශය වෙමින් තිබිණ. මෙම ටෙලි නාට්‍ය විකාශය කිරීමේ දී පළමුව බද්දක් ආණ්ඩුවට ගෙවිය යුතු යැයි යන යෝජනාවක් ස්ථිර විය. එම බද්දෙන් උපයන ලද මුළු මුදල රන්මිණි-තැන්න සිනමා ටෙලි ගම්මානයේ ව්‍යාපෘතිය වෙත ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
මෙසේ ඉදිකරන ලද 'ජාතික ටෙලි සිනමා' ගම්මානය 2010 මාර්තු මස 30 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණ. ඉකුත් සති අන්තයේ කතරගම වන්දනාවෙන් ඉක්බිති මා ඇතුළු මිතුරු පිරිස් රන්මිණිතැන්න බලා ගියේ මේ අපූර්ව විස්කම් ගම්මානයේ එක පෙළට සිදුකෙරෙන සිනමා සහ රූපවාහිනී රූපගත කිරීම් හා එහි තිබෙන අපූර්වතම දර්ශන තල නැරඹීමේ නොතිත් ආශාවෙනි.
තිස්ස, කතරගම මහ පාරෙන් හැරී වළවල් සහිත පටු තාර පාර දිගේ ඉදිරියට ගිය අපට 'රන්මිණි-තැන්නට' පිවිසෙන විශාල දොරටුව හමුවිය. කල්මුණේ සිට පැමිණි විශාල බස් රථයකින් මුස්ලිම් ගැහැනු, පිරිමි, ළමෝ පිටතට පැමිණෙමින් සිටියහ. අඩක් විවර කර තිබූ පලු දොරින් ඇතුළු වන්නටගිය අපව ආරක්ෂක නිලධාරීන් විසින් වළකන ලදී.
කරුණාකර ටිකට් ගන්න..රුපියල් පනහක් බැගින් ගෙවා ප්‍රවේශ පත්‍ර සියලු වැඩිහිටියන් විසින් ලබා ගත්තේ කළුවර කඩා වැටෙ-න්නට පෙර ඇතුළට ගොස් සිනමා. ටෙලි රූගත කරන අයුරු නැරඹීම පිණිසය.
පලු දොරෙන් ඇතුළු වී වමට හැරී ගිය අපට පාළුවට ගිය ප්‍රථම දර්ශන තලය හමුවිය. එය දර්ශන තල එකක් නොව තුනකි. රිජිෆෝම්, 'වැනිස්ට්‍රා' වැනි ලෑලි වර්ගවලින් සහ ගඩොල් කුලුනුු ආදියෙන් සකස් කර තිබූ ගොඩනැගිලි කිහිපයක් එහි විය. එක පෙළට තිබූ එක් ගොඩනැගිල්ල-කින් ප්‍රකාශ වූයේ එම දර්ශන තලය කොළඹ බවකි. අනෙක් දර්ශන තලය නුවරඑළිය බවත්, ඉතිරි දර්ශන තලය මාතර බවත් එහි සිටි කාන්තාවක් අපට විස්තර කර දුන්නාය.
එම වීදිය පට්ට පාළුය. බල්ලෝ තුන් දෙනෙක් ඔබ මොබ සැරිසරමින් සිටියහ. මෙම දර්ශන තලයේ කැමරාගත කළ හැක්කේ කොළඹ, නුවරඑළිය හෝ මාතර 'ඇඳිරි නීතිය' පැන වූ දවසක් පමණි. ජනාකීර්ණ වීදියක දර්ශන රූපගත කරන්නට නම් ඒ අවස්ථාවට උචිත ලොරි, වෑන්, බස්, කරත්ත සමග මහ ජනතාවද ආනයනය කළයුතුව ඇත. එසේ ආනයනය කළද රූපගත කළ හැක්කේ සමීප රූප පමණි. මධ්‍යම හෝ දුරස්ථ රූප රාමුවකට කැමරා කාචය සකස් කළ හොත් කොළඹ දර්ශනයකදී නම් නුවරඑළිය සුප්‍රසිද්ධ හෝටලයෙන් කොටසකුත් අසුවේ. නුවරඑළිය පරිසරයේ මධ්‍යම රූප රාමුවක් නම් මාතර නොවැ-ටෙන්නට රූපගත කිරීම් කරන්නේ කෙසේ දැයි අසන්නට අධ්‍යක්ෂ-වරයාට මෙහි නිර්මාතෘවරුන් සොයා යාමට සිදුවෙයි.
ගොඩනැගිලි කිහිපයේ මුදුනත 'වැනිස්ට්‍රා' ලෑලි සහ බාස් උන්නැහේලා හොරට ගැසූ වහලයේ ඇලුමිනියම් තහඩු සුළඟේ ළෙලදෙමින් තිබුණේ අපට ඔච්චම් කරන විලාසයෙනි.
නුවරඑළියේ සුපතල හෝටලයේ වසා තිබූ ඉදිරි දොර පලුවේ සිදුරකින් මම එහි ඇතුළත බැලුවෙමි. හෝටලයේ ඇතුළ මහ කැලෑවකි. මෙම ස්ථානයේ නුවරඑළිය හෝටලයේ ඉදිරිපස දර්ශන රූපගත කොට අධ්‍යක්ෂවරයා සහ නළු නිළි පිරිස හෝටලයේ ඇතුළත රූපගත කරන්නට නුවරඑළියටම යා යුතු නොවේ දැයි අප සාකච්ඡා කළෙමු.
එතැන සිටි කාන්තාව අපට පුන පුනා විස්තර කළේ මෙම දර්ශන තල තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කරගත හැකි බවකි. සිනමාව හෝ රූපවාහිනී මාධ්‍ය ගැන එතරම් අප ද නොදන්නා නමුත් කොළඹ, නුවරඑළිය සහ මාතර සුපතල ගොඩනැගිලි අනුරූ අධ්‍යක්ෂ-වරයෙකුට වෙනස් කළ නොහැක. ඒවා වෙනස් කළ හැක්කේ පළාත් පාලන ආයතනවලට පමණි. සරල උදාහරණයකින් කිවහොත් රුවන් වැලි මහසෑය වෙනස් කරන්නට අධ්‍යක්ෂවරයෙකුට බැරිය. ඒ හා සමානව රටේ ප්‍රධාන ගොඩනැගිලි අනුරූවලින් බෝල හෝ පිට්ටු බම්බු හැඩයේ නිර්මාණ සකස් කරන්නට කිසිවෙකුට නොහැකිය.
එතැනින් මිදුනු අපි විශාල ගොඩනැගිල්ලකට පිවිසියෙමු. එහි ඉදිකර තිබුණේ උසාවියකි. එම උසාවිය ඉදිකර තිබූ ගොඩනැගිල්ල අලුත්කඩේ උසාවි සංකීර්ණයෙන් හතරෙන් එකක් පමණ විශාල යැයි මට සිතුණි. එතුළ ඉදිකර තිබූ උසාවියේ මෑත කාලයේ කිසිම 'නඩුවක්' රූපගත කර නැති බව මට පසක් වූයේ සාක්කිකාර කූඩුවේ පළුවක් අත ගෑ අවස්ථාවේ අත රැඳුනු දුහුවිලි තට්ටුවෙනි. මෙතැන නඩු අසන්නට නම් දෙතුන් සියයක් වත් අඩුම තරමින් හිඩැස් පිරවීමට රැගෙන ආ යුතුය.
ඉන් ඔබ්බට වූයේ ගරාවැටුණ , වේයන් පැළ පදියම් වූ කෝපි කඩයක් , ලෑලි තට්ටු ගෙවල් කිහිපයක් සමග තවත් ගැමිකම විදහාලන නිවාස කිහිපයකි. පැළ ගොයමින් යුතු ලියැදි කිහිපයක් , වම්බටු, මිරිස් පාත්ති කිහිපයක්ද තැනින් තැන සරුවට වැඩෙමින් තිබිණ.
2000 වසරේ දී පමණ විසිකර දමන ලද කැසට් කැමරාවක් සහ එක විදුලි පහනක් යොදා ගනිමින් අධ්‍යක්ෂවරයෙක් අසරණ රූගත කිරීමක යෙදී සිටිනු පමණක් මුළු සංචාරයේදීම මට දකින්නට ලැබුණ රූපගත කිරීම වේ.
මෙතරම් වියදමක් දරා ඉදිකළ රන්මිණිතැන්න සිනමා ටෙලි ගම්මානයේ මේ දක්වා රූපගත කර ඇත්තේ අතේ ඇඟිලි දහයටත් අඩු සිනමා හා රූපවාහිනී දර්ශන කිහිපයක් පමණි. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයක කොටස් රූපගත කළ බවක් ද අසන්නට ලැබිණි.
මෙවැනි ස්ථානයකින් කලා-කරුවන්ට ලබාගත හැකි ප්‍රයෝජන මවා පෙන් වූ ඇතමුන් පසුගිය කාලයේ සමහර නිර්මාණ ආදියෙහි නිරත වුවත් ඔවුන් රන්මිණිතැන්න යොදා ගනු ලැබුවේ 'ඇපයෙන්' බේරෙන්නට බව අපට පෙනී ගිය තවත් කරුණකි. ඔවුන්ගේ මුළු නිර්මාණයම වෙනස් දර්ශන තලවල රූපගත කොට ඉතා සුළු කොටසක් රන්මිණිතැන්නේ රූපගත කර තිබේ. ඒ ඇයි දැයි ඇසුවොත් තමන්ගේ තිර නාටකයට අවශ්‍ය දර්ශන තල එම ස්ථානයේ නැතැයි ඔවුන් පවසා සිටිනු ඇත.
එය සැබෑවකි. මුළු ලංකාවම දර්ශන තලයකි. පැය කිහිපයකදී ඕනෑම දර්ශන තලයකට ගමන් කළ හැකිය. ඒ දර්ශන තල සජීවී ස්ථානය. කාර්, බස් , වෑන් , ලොරි, කරත්ත, දිය ඇලි, ගංගා කිසිවක් මහ පරිශ්‍රමයෙන් සොයා ගත යුතු ඒවා නොවේ. බැලූ, බැලූ අත ඇත්තේ දර්ශන තලයි. එබඳු පහසුකම් රට වටා තිබියදී මෙවැනි ගම්මානයක් සෑදීමේ වැදගත්කම ගැන ජනාධිපතිවරයාට කරුණු දැක්වූ පුද්ගලයන් මේවාට පිළිතුරු දිය යුත්තේ රුපියල් කෝටි 170 ක් අද වන විට දිරාපත් වෙමින් තිබෙන බැවින්ය.
නමුත් අවසන් වශයෙන් මෙයද සඳහන් කළ යුතුය. රන්මිණිතැන්න කටුගෙයක් වන්නට නොදී එය දවසින් දවස දියුණු කළ හැකි බව මම දනිමි. එය කළ හැක්කේ පුරසාරම්වලින් නොවේ. අවංක නවමං සොයන දර්ශනයකින් පමණි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment