Powered by Blogger.

බාල ඉන්ධන යලිත් රටපුරා හොල්මන් කරයි Lanka IOC

Monday, July 30, 2012

බාල තත්ත්වයේ ඉන්ධන මෙරට තුල විවිධ ඉන්ධන හල් විසින් බෙදා හරින බවට මීට පෙර ද වාර්තා වුනේ පසුගිය වසරේ ජූනි මාසයේ. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වාහන හිමියන් මහත් අපහසුතාවයට පත් වුනේ එම භාවිතයට නුසුදුසු ඉන්ධන වාහන වලට යෙදීම හේතුවෙන් එම වාහන අකර්මන්‍ය වීම නිසයි.

ඉන්පසුව මේ වසරේ මැයි මාසයේ දීද ආනයනය කරන ලද බාල වර්ගයේ ගුවන් යානා තෙල් හේතුවෙන් රජයට සිදුවූ ඇති පාඩුව රුපියල් කෝටි 14ක් පමණය.

මේ වන විට නැවතත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ මෙවැනිම පුවතකි. එනම් ඇතැම් ප්‍රදේශ වල ඉන්ධනහල් වලින් ඩීසල් ලබාගත් වාහන රැසක් හදිසි කාර්මික දෝෂ වලට ලක් වීමයි.


පසුගිය 25 වන බදාදා කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් නිකුත් කල ඩීසල් තොග ලබාගත් පිරවුම්හල් වලින් ධාවනය සඳහා ඉන්ධන ලබාගත් වාහන වල මෙලෙස හදිසි කාර්මික දෝෂ හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඇඹිලිපිටිය සහ සූරිය වැව ප්‍රදේශ වලින් වැඩි වශයෙන් මේ පිළිබඳව අසන්නට ලැබෙන අතර මෙම බාල වර්ගයේ ඩීසල් ධාවනය සඳහා යෙදවීම හේතුවෙන් ඇඹිලිපිටිය රෝහලේ ගිලන් රථ දෙකක් ද හදිසි කාර්මික දෝෂ වලට ලක් වී තිබේ. මෙම ගිලන් රථ සඳහා ඩීසල් ලබාගෙන ඇත්තේ ද ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉන්ධන හලකිනුයි.

කොලොන්න කෝරලේ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම් හලෙන් ඩීසල් ලීටර 45ක් යොදා ධාවනය කල එක් ගිලන් රථයක් පසුගිය 25 වන දින රාත්‍රියේ දී මඟ නැවතී තිබෙනවා. ඒ ඇඹිලිපිටිය මහ රෝහලේ සිට රත්නපුර මහ රෝහල වෙත රෝගීන් දෙදෙනෙකු රැගෙන යමින් සිටියදී ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේ දීයි. එසේම එම රෝහල සතු අනෙක් ගිලන් රථයට ද එම ඉන්ධන ම යෙදවීම හේතුවෙන් පසුගිය 26 වන දින කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා.

ඇඹිලිපිටිය රෝහල විසින් අදාල පිරවුම් හල මේ පිළිබඳව දැනුවත් කර ඇති හෙයින් ඉන්ධන හල් හළමනාකාරීත්වය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමණාකරු ද මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර මීට සති 2කට ඉහත දී ද ඇඹිලිපිටිය, අනුරාධපුරය සහ හම්බන්තොට ප්‍රදේශ වලින් මෙලෙස ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පැමිණිළි ලැබුනු බවටයි තොරතුරු ලැබෙන්නේ.

ඩීසල් ලබාගැනීමෙන් පසුව වාහන කාර්මික දෝෂ වලට ලක් වූ බවට චෝදනා කරමින් කොළඹ වරායෙන් සහ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහන දෙකකින් ද මෙලෙස පැමිණිලි ලැබී තිබෙනවා.

කොළඹ වරායෙන් ලැබුන පැමිණිල්ලෙන් පසුව කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ ඉන්ධන ගබඩා ටැංකි ද යලි පරීක්ෂාවට ලක් කොට ඇති අතර අනුරාධපුරයෙන් පැමිණිල්ල ලැබුනු පසු එම පිරවුම්හලේන් ඉන්ධන සාම්පලයක් ගෙන්වා පරීක්ෂණය කල බවත් ඇබිලිපිටිය ඇතුළු ප්‍රදේශ වලින් ද මෙලෙස ඉන්ධන සාම්පල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවත් පවසන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරියකු පවසන්නේ මෙතෙක් මේ පිළිබඳව ලිඛිතව පැමිණිලි ලැබී නැති බවයි.

අද උදෑසන (30)වන විට වාර්තා වන්නේ මෙම ඩීසල් භාවිත කළ වරායේ දොඹකර දාහතරක්‌, ලංගම බස්‌ රථ පහළොවක්‌ පමණ හා අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහන තිහක්‌ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලින් තෙල් සංස්‌ථාවට පැමිණිලි ලැබී ඇති බවයි. එම වාහනවල එන්ජින් ශුද්ධ කල පසු නැවත ධාවනය කිරීමට හැකිවූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ලැබිණි පැමිණිලි හේතුවෙන් ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යවා ඇත.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.